ශ්‍රී ලංකාවේ පරිපාලන අගනගරය
අතීතයේ සෛවරී පාලනයෙන්, සංස්කෘතික හා සාමයික හැඟීම්වලින් සාහිත්‍යයික හා කලාත්මක ජයග්‍රහණයන්ගෙන් සමන්විත වූ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරය 1985 පෙබරවාරි 06 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජන රජයේ අති විශේෂ ගැසට් නිවේදනය මගින් 1985 ජනවාරි 29 වන දින සිට ශ්‍රී ලංකාවේ නව අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් විය.
මායිම් හා භූමි ප්‍රමාණය - කෝට්ටේ නගරය උතුරින් හා නැගෙනහිරින් කොලොන්නාව හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලින්ද දකුණින් හා බටහිරින් මහරගම හා තිඹිරිගස්යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලින්ද මායිම් වන අතර භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1,674 ක් පමණ විශාල වේ.
කොළඹ නගරයේ ආසන්නව පිහිටීමත් එහි උප නාගරික කලාපයක් ලෙසත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පරිපාලන අගනගරය සහ නව පාර්ලිමේන්තු සංකීර්ණය මෙම කොට්ඨාසය තුල පිහිටා තිබීම නිසාත් අධි නාගරීකරණයට ලක්ව ඇත. ප්‍රදේශයේ පවතින දියුණු මාර්ග ජාලය හා කාර්යක්ෂම යටිතල පහසුකම් මෙන්ම සීඝ්රයෙන් වැඩි වන සේවා ස්ථාන හේතුවෙන් ද මෙම ප්‍රදේශය සංකේන්ද්‍රණයක් බවට පත්ව තිබේ.
පාරිසරික තත්ත්වය
ශ්‍රී ජයවර්ධනපුර නගරය ඉතා සුන්දර තෙත් බිම් රාශියකින් සැදුම්ලත් ප්‍රදේශයක් ලෙස පෙන්වා දිය හැකිය. වර්තමාන භූමි භාවිතයට අනුව හෙක්ටයාර් 230 ක භූමි ප්‍රමාණයක් තෙත් බිම් ලෙස ඉතිරිව ඇත. මෙම වගුරු බිමෙහි මායිම් කෝට්ටේ ඇළ (දියවන්නා ඔය) දෙපස නැගෙනහිර නාවල (වැලිකඩ නුගේගොඩ) පාර ජයවර්ධනපුර මාවත දකුණ, ඇතුල්කෝට්ටේ බස්නාහිර කොටස හා හීන් ඇලෙහි යම් යම් කොටස් දක්වා විහිදේ.
පාර්ලිමේන්තු සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වෙත ගෙන ඒමට තීරණය කිරීමත් සමග මෙම ප්‍රදේශයේ වගුරු බ්ම් ප්‍රමාණයේ පැහැදිළි වෙනසක් සිදුවිය. පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීමේදී එහි දැනට පවතින භූමිය ගොඩකර සංවර්ධනය කරන ලද අතර, ඒ අවට ප්‍රදේශය ජලාශයක් ලෙස නිර්මාණය කරන ලදි. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයවටා වූ ජලාශයට මායිම්ව වැටී ඇති වන ආවරණය සහිත වගුරු භූමිය, අතිරික්ත වැසි ජලය රදා තබා ගැනීමට සමත්ව ඇත.
වගුරු බිම් කැලිකසල ගොඩ ගැසීමට භාවිතා කිරීම නාගරික ජනතාව විසින් සිදු කෙරේ. එහි ප්‍රතිඵලයක් ලෙස දිගු කලක සිට මෙම බිම් ගොඩකර නිවාස සෑදීමේ කාර්යය සදහා සහ ඉවතලන කුණු අපද්‍රව්‍ය රැස්කිරීමේ භූම් ලෙස යොදා ගැනුනි. මේ හේතුවෙන් වර්තමානයේ වගුරු බිම් වුකලි පරිසර පද්ධති අතරින් වඩාත් තර්ජනයට ලක් වූ පරිසර පද්ධති ගණයට වැටේ.
මූලික වශයෙන් ගත් කල තෙත්බිම් සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රධාන ප්‍රයෝජන 3 ක් හදුනා ගෙන ඇත. එනම්,
- තෙත් බිම් අධික වර්ෂා අවස්ථාවන්හි අතිරික්ත ජලය රදවා තබා ගන්නා තාවකාලික ජලාශ ලෙස ක්‍රියා කරයි. මෙමගින් ගංවතුරින් අවට ප්‍රදේශයට සිදුවිය හැකි තර්ජනය මග හැරේ.
- කාර්යක්ෂමතාව අපවිත්‍ර ජලය ගලා බස්නා පද්ධතියක් නොමැති විටදී මෙම තෙත් බිම, ඒවා අවට ජීවත් වන ජනතාව බැහැර කරනු ලබන අපවිත්‍ර ජලය රදා ගැනීමේ කාර්යය ඉටු කරයි.
- වර්තමානයේ තෙත් භූමි පාලනයකින් තොරව ගොඩ කිරීම තර්ජනය වී ඇති අතර, දැනට මෙම ප්‍රදේශ විශාල වශයෙන් නිවාස සංකීර්ණ හා වෙළඳ සංකීර්ණ ගොඩනැගීම සදහා යොදා ගෙන ඇත.
කාර්යක්ෂම කළමණාකරණයක් නොමැති බැවින් දැනට කෝට්ටේ නගරයේ ඇති තෙත් බිම් ප්‍රමාණ සීඝ්‍ර ලෙස අඩු වෙමින් පවති. නගරයේ ඇතැම් ස්ථාන දැනටමත් ගංවතුර තර්ජනයට ලක්ව තිබීම මෙහි අහිතකර ප්‍රතිඵලයක් වේ.
ජනගහණය - කෝට්ටේ නගර සීමාවට අයත් ග්‍රාමසේවා වසම් 20 තුළ සමස්ත ජනගහණය 118,323 කි. (2016 දෙසැම්බර් වන විට) ජාතිකත්වය අනුව සිංහල 84% ක් දෙමළ 7% ක් මුස්ලිම් 7% ක් හා බර්ගර් ඇතුඵව වෙනත් ජාතීන් 1% ක් වේ.
- අවුරුදු 18 ට අඩු - 38,705
- අවුරුදු 18 - 55 අතර- 56,815
- අවුරුදු 56 වැඩි - 22,803
වැඩි ජන සංඛ්‍යාවකගේ ප්‍රධාන ජීවනෝපාය සේවා අංශය මත පදනම් වී තිබේ.ඊට අමතරව කාර්මික අංශයේ ද පැහැදිළි දියුණුවක් දක්නට ලැබේ. ප්‍රදේශයේ කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස ඉතා සුළු පිරිසක් වන අතර ඔවුන් ද පූර්ණ කාලීන ගොවින් නොව අර්ධ කාලීන ගොවීන් වේ.
පුරාවිද්‍යාත්මක ස්ථාන
කොටු පවුර
අලකේෂ්වර සෙනෙවියා විසින් නගරයේ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද කොටුබැම්ම උසින් අඩි 8 ක් හා පළලින් අඩි 30 ක් පමණ විය. එදා කෝට්ටේ පාලනය කළ රජුන්ගේ උපදෙස් පරිදි පැවැත්වූ දළදා පෙරහැර මේ කොටුබැම්ම මතින් ගමන් කළ බව පතපොතේ සඳහන්ය. එකල පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගවලදී හැඳල පාලම, කොළඹ කොටුව, පිටකොටුව සහ අලුත්කඩේ ආදී තැන්වල රජයේ, හමුදාවේ සහ පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීම සඳහා කොටුබැම්මේ කබොක් ගල් ගෙන යන ලදී. දැනට ඇතුල්කෝට්ටේ කොටුබැම්ම පාරේ තැනින් තැන පැරණි කොටුබැම්මේ බටහිර කොටසේ නටබුන් ශේෂව තිබෙනු දක්නට ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථාන පුරා විද්‍යා ආරක්ෂිත ස්ථාන ලෙස නම් කොට ඇත.
දියවන්නා ඔය
කෝට්ටේ නගරයට චමත්කාරය කැන්දන ඓතිහාසික දියවන්නා ඔය සොබාදහමේ අපූර්ව වූ දායාදයකි. මේ ජලාශයේ සහ එහි අවට පිහිටි වන උයන්වල සුන්දරත්වය පිළිබඳව කෝට්ටේ යුගයේ ලියැවුණු සංදේශ කාව්‍යයන්හි මනාව වර්ණනා කොට ඇත. දියෝගෝද ඇරච්ජෝ නැමැති පෘතුගීසි සෙනෙවියා හා වීදිය බණ්ඩාරයන්ගේ බිරිඳ වූ සමුද්‍ර දේවිය පිළිබඳව පැතිරුණ කටකතාවකින් කිපුණු වීදිය බණ්ඩාරයන් සමුද්‍රදේවිය මේ නදියට බිළිකළ බව ඉතිහාසයේ සඳහන් වේ.
රජ මාළිගාව
රජ මාලිගාවේ නටඹුන් පිළිබඳ තොරතුරු අල්පය. එය මහල් 5 ගොඩනැඟිල්ලක් විය. මාලිගාවේ කොත් කැරැල්ල අවට ගම්මානවලට මනාව දර්ශනය වී ඇත. මාලිගාව අසලම රජ පවුලේ මගුල් පොකුණද තිබෙන්නට ඇති බව සිතිය හැකිය. මීට කලකට ඉහත මේ ස්ථානයේ සිදුකරන ලද කැණීම්වලදී විශාල වලක් තුළ අලංකාර හැඩයෙන් හැඩයෙන් යුත් කැටයම් කැපූ උඵකැටද, ඔපමට්ටම් කළ ගඩොල් සහ පැරකුම්බා යුගයට අයත් මසුරන් කාසිද සොයා ගන්නා ලදී. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ඓතිහාසික ස්ථානය ගවේෂණය කිරීමේ වගකීම දරයි. දැනට මාලිගාව පාර නමින් හදුන්වන ප්‍රදේශයේ මෙය තිබූ බවට සාක්ෂි ඇත.
ගල් අම්බලම
පිටකෝට්ටේ නගර මධ්‍යයයේ පිහිටි ගල් අම්බලම ලංකාවේ ගෘහ නිර්මාණ හා තාක්ෂණය පිළිබඳව අවධානය යොමුකිරීමේදී විශේෂ තැනක් ගනී. මෙහි වහලයේ නිර්මාණ ස්වභාවය සලකා බැලීමේදී එය වර්තමාන ගෘහ නිර්මාණ ක්‍රමයට බොහෝ සේ සමානකම් දැකගත හැකිය. ඒ සඳහා යොදාගෙන ඇති තාක්ෂණය ඉහළ අගයක් පෙන්නුම් කරයි. තවද මහනුවර වැනි යුගවල ඉදිකරන ලද අම්බලම් ඇතුළත උසස් කුලයේ අය සඳහා වෙනමම අසුන් පනවා ඇති අයුරු දැකගත හැකි වුවද පිටකෝට්ටේ අම්බලමේ එසේ කුල සාධනයට අනුව අසුන් පනවා ඇති ආකාරයක් දක්නට නොලැබේ. කෝට්ටේ රජදවස ජාති කුළ හේදයකින් තොරව ජනතාව සමගියෙන් වාසය කළ බවට මෙය එක් නිදසුනකි. මෙම අම්බලම පැරණි කෝට්ටේ රාජධානියට පිවිසෙන මාර්ගයේ පිහිටවනු ලැබූ එකකි. පැරණි කෝට්ටේ සිතියමෙහිද මෙම ස්ථානය සඳහන් කොට තිබේ. පිටතින් පැමිණෙන ජනයා ඇතුල්කෝට්ටේ ට යෑම සඳහා නතර වී සිටිමට මෙය භාවිතයට ගෙන තිබේ. පිටකෝට්ටේ නගරය ජනාකීර්ණ වීමත් සමගම විවිධ වෙනස්කම්වලට ලක්ව ඇති මේ අම්බලම ඇතුළත එදා ශෛලමය මාධ්‍ය භාවිතා කර තැනූ කණු කිහිපයක් අදටත් දක්නට ඇත.
අලකේෂ්වර සොහොන
ඇතුල්කෝට්ටේ අලකේෂ්වර පාරේ පිහිටි මේ භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේ පවතී. මේ ස්ථානය පිළිබඳව මත දෙකකි. මෙය අලකේෂ්වරයන්ගේ සොහොන් ගැබ බව ඉන් එක් මතයකි. දක්ෂ ප්‍රාදේශීය පාලකයෙකු, සෙන්පතියෙකු හා දක්ෂ නිර්මාපකයෙකු වූ අලකේෂ්වරයන් රටේ රජකම පිළිබඳව සිහින මැවූවෙකි. බලහත්කාරයෙන් රටේ රජකම පැහැර ගැනීමට තැන් කළ හෙතෙම ඝාතනය කොට මෘත ශරීරය එදා බහිරව පොකුණේ හුන් කිඹුලන්ට දැමූ හෙයින් සොහොන් ගැබක තැන්පත් කිරීම සඳහා මෘත ශරීරයක් ඉතිරි නොවුණි. එම නිසා මේ ස්ථානය අලකේෂ්වරයන් ගේ මාලිගාව බව පවතින අනෙක් මතයයි. මෙම ස්ථානයේ ඇති වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සහ එම ස්ථානයෙන් දැනට ලැබී ඇති ඇඹරුම් ගල් හා ජල පෙරන වැනි ගෘහ උපකරණවලින් මෙම ස්ථානය අලකේෂ්වරයන්ගේ මාලිගාව යන මතයට වැඩි රුකුලක් ලැබෙනු ඇත.
වෙහෙර කන්ද සොහොන් බිම
1949 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානයේ සිදුකොට ඇති කැණීම්වලදී අඩි 97 x 58 x 5 ½ ප්‍රමාණයේ සෘජුකෝණාශ්‍ර හැඩයට බඳින ලද විශාල වේදිකාවක් මත කොට වෙහෙර ස්වරූපයේ එකිනෙකට වෙනස් ස්තූප දෙක හමුවී ඇත. කබොක් ගලින් බඳින ලද විශාල ස්තූපයේ විශ්කම්භය අඩි 30 ක්ද කුඩා ස්තූපයේ විශ්කම්භය අඩි 24 ක්ද වේ. ස්තූප දෙකම පේසාවන් තුනක් සහිතව ඉදිකර ඇති අතර උතුරින් හා බටහිරින් වේදිකාවට ප්‍රවේශ වීම සඳහා කබොක් ගලින් තැනූ පියගැට පෙළ දෙකක් වේ. මෙය පැරණි ආරාමයකැයි විශ්වාසයක් ද තිබේ. එහෙත් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වන්නේ මෙම ස්තූප සවැනි පැරකුම්බා රජුගේ සහ ඔහුගේ බිසව වූ රන් මැණිකා බිසවගේ සොහොන් කොත් විය හැකි බවය.
පැරණි උමංදොරටුව
කෝට්ටේ ආනන්ද ශ්රාස්ත්රාලිය භුමියේ මෙම උමං දොරටු දක්නට ඇත. පිහිටි පොළවේ අඩි 5 ක් පමණ කැණිමෙන් අනතුරුව මධ්‍යයේ ඉතිරි කර ගත් පස් කණ්ඩිය හාරා දොරවල් දෙකක් මඟින් ඇතුළට ප්‍රවේශ වීමට සාදා ඇත. ප්‍රධාන දොරටුවේ මුදුනෙහි සිංහල රජුගේ කිරුළ කොටා තිබිණි. මෙහි මධ්‍යයට ඇතුළු වු පසු දොරවල් හතරකින් පහතට බැසීමට තබා ඇති අතර මින් දොරටු 03 ක් ව්‍යාජ දොරටු ලෙසින් තබා තිබුනේ ආරක්ෂාවට බව සඳහන් වේ. පෘතුගීසින් හා කළ සටනේදී අත්අඩංගුවට පත්ව කොළඹ කොටුවේ සිර කර තැබු වීදිය බණ්ඩාර කුමරු බේරා ගැනීම සඳහා ඔහුගේ දෙවන බිරිඳ වන මායාදුන්නේ ගේ දියණිය ටිකිරි කුමරිය විසින් මතුරට ප්‍රදේශයන් රැගෙන ආ ශිල්පින් ලවා මෙම උමඟ තැනවු බව සඳහන් වේ. ඉතාමත් මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ කැණිම්වලදී මේ ස්ථානයෙන් තනි කබොක් ගලින් නිර්මිත චෛත්‍යයක් සහ පියගැට පෙළක් හමුවි ඇත.
කෝට්ටේ රජ මහා විහාරය සහ ඓතිහාසික නා බෝධින් වහන්සේ
15 වන සියවසේදී ශ්‍රී ජයවර්ධනපුර රාජධානියක් බවට පමුණුවාලමින් රට එක්සේසත් කොට සිරිලක බැබළවූ 6 වන පැරකුම්බා රජු විසින් කෝට්ටේ රජ මහා විහාරස්ථානය තනවන ලදි. අන්තරගම බණ්ඩාර රාජගුරු විසින් රචිත් නම්පොත හෙවත් විහාර අස්නෙහි කෝට්ටේ රජමහා විහාරය පිළිබඳව ද සඳහන් වේ. එහි සඳහන් වන ඔත් පිළිමගෙය යනු කෝට්ටේ රාජමහා විහාර භූමියෙහි සවැනි පැරකුම්බා රජු විසින් කරවන ලද සැතපෙන පිළිමය සහිත විහාර මන්දිරය වේ. එම පොතෙහිම සඳහන් ෂන්මුඛ දේවාලය පිහිටා තිබෙන්නේ විහාර මන්දිරය ඉදිරිපිට වේ. එයද සවැනි පැරකුම්බා රජු විසින් කරවන ලද්දකි. පෘතුගීසි ආක්‍රමණයෙන් මෙම විහාරස්ථානය විනාශ වී යාමෙන් පසු 1813 දී ගරු පිලානේ නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම රජමහ විහාරස්ථානයේ නටඹුන් සොයා ගෙන ඇත. ඉන් අනතුරුව විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර ඇති අතර ක්‍රමයෙන් දියුණු වී අද වන විට ලංකාවේ ප්‍රධාන විහාරස්ථානයක් බවට පත්ව ඇත. මෙහි වැඩසිටි දළදා සමිදුන්ට පූජෝපහාර පිණිස 1901 දී කෝට්ටේ ශ්‍රී දළදා පෙරහැර නැවත ආරම්භ කර මේ දක්වා වාර්ෂිකව ඉතා උත්සවාකාරයෙන් පවත්වාගෙන යනු ලැබේ. මෙම පූජා භූමියේ දක්නට ලැබෙන ඉපැරණි නා බෝධීන් වහන්සේ ඓතිහාසික වශයෙන් සුවිශේෂි ස්ථානයක් ගනී. සපුමල් කුමරු යාපනය සටනට යෑමට පෙර මේ ස්ථානයට බාරයක් වූ බවත් යාපනය ජයගැනීමෙන් පසු පෙරළා කෝට්ටේ ට පැමිණි සපුමල් කුමරු ඔහුගේ මගුල් කඩුව මෙම ස්ථානයේ තැන්පත් කොට එහි දේවාලයක් තැනූ බවත් සඳහන් වේ.
කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරය
නුගේගොඩ කොටහේන බස් මාර්ගයේ මාර්ගයේ (මාර්ග අංක 168) කොටුබැම්ම පාරේ සිට නුගේගොඩ දෙසට මීටර් 50 ක පමණ දුරින් මෙම ස්ථානය පිහිටා ඇත. මෙහි රාජධානියට අයත්ව තිබූ පෞරාණික භාණ්ඩ, මෙවලම්, පරිහරණයට ගත් ඇදුම් හා භාවිතා කල මුදල් මහජන ප්‍රදර්ශනය සදහා තබා ඇත. මෙම කෞතුකාගාරය සදහා භාවිතා කරන ගොඩනැගිල්ල ඉතා පැරණි එකක් වන අතර, එය ලංකාවේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කල ඊ. ඩබ්ලිව්.පෙරේරා මහතා ජීවත් වූ නිවස බවද සදහන් වේ.
රජයේ පාසල්
කෝට්ටේ නගරය තුළ පිහිටි පාසල් සංඛ්‍යාව 19 කි. මේ අතරින් රාජගිරිය ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, සහ නුගේගොඩ අනුලා බාලිකා විද්‍යාලය ජාතික පාසල් වන අතර හේවාවිතාරණ විද්‍යාලය, සිරිහද විද්‍යාලය, ශ්‍රී සෝභිත විද්‍යාලය, සිරි පැරකුම්බා මහා විද්‍යාලය, හින්දු විද්‍යාලය, සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, ආනන්ද බාලකා විද්‍යාලය, අනුලා ප්‍රාථමික විද්‍යාලය, ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, ජනාධිපති බාලිකා විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශ්‍රී රේවත රාජකීය විද්‍යාලය, ශ්‍රී විජයාරාම විද්‍යාලය සෙසු පාසල් වේ.
මෙම පාසල් සියල්ලේම ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 22008 වන අතර සේවය කරන මුඵ ගුරුවරුන් සංඛ්‍යාව 1206 කි.